Pages

Wednesday, November 28, 2012

මටත් ඕනෙ කැබ් එකක්.........


      පහුගිය දවසක අපි අනුරාධපුරේ ගියා නොවැ ත්‍රීවීල් එකක... චූට්ටං ෆැමිලි ටුවර් එකක්.. ඒක වෙනමම කියන්න ඕන කතාවක්... එක පස්සෙ බලමුකෝ..
                                    
     අනුරාධපුරේ ගියේ ඇස්ටෝං ගෙදරක.. ත්‍රීවීල් එකේ පහක් තහනං උණත් අපි ගියා.. කොහොම හරි ගෙහුං හෙම ‍උත්සවේට කරල දෙන්ට ඕන යුතුකං ටික එහෙම ඉස්ට සිද්ධ කරල නිදා ගන්නකොට රෑ දොළහට එකට විතර ඇති..(එහෙට යනකොටත් රෑ අටට විතර)

    පහු වෙනිදා නුවර අපිට අළුත් අමුතු සිරිත් එක්ක උත්සවේ තිබුණ.. තේ බොන වෙලාවට ඒ කියුවෙ උදේ දහයට විතර... කොහොමෙං කොහොම හරි ඔය අනුරාධපුරෙ ගමන නං සම්මජ්ජාතියට අමතක වෙන්නෑ.. ඔය බ්ලොග් වල නිතරම දකින්න ලැබෙන "ඈ" (උදා:- ගිහිං එන්නං ..) ඉස්සරෝම අහන්න හම්බවුණෙත් අනුරාධ පුරේදී.. කළුතරිං සෙට් එකක් ඇවිත් හිටිය.. ඕනම වාක්‍යක කෙළවරට "න" දාල කතා කරන විධියත් අපිට නිකං මැජික් වගේ.. නුවර අපි ඉතිං ඔය ටී.වී. එකේ විදියටනෙ කතා ‍කරන්නෙ.. ‍එකම වෙනස කෙළවරට "න" වෙනුවට "ට" , "ඩ" වැටෙන එක තමා.. ඒ කියන්නෙ "යන්න" කියන වචනෙ නුවරදි "යන්ඩ" හරි "යන්ට" හරි වෙනව.. ඒක අනුරාධ පුරේදී "යන්ඩ ඈ.." 

Monday, November 26, 2012

ඩෙංගු මර බිය දුරු කළ අපේ දොස්තර නෝනා‍

         ඔය සුද්දා ලංකාව අතෑරල යනකොට නිකංම ගියේ නෑනේ. ඌ ගියේ කළු සුද්දො පැටවු ටිකකුත් හදල නෙව. අපේ තිබිච්චි හැම දේම උදුරගෙන උංගෙ ලට්ට ලොට්ට ටික දාලනේ ගියේ..
     
        අපේ මිනිස්සුත් රට බඩුනං ඕන දෙයක් කියල බාර ගන්න ජාතියක් නිසා උන් දුන්නු ඕන කුණු ගොඩක් බාර ගත්තෙ ඉහ මුදුනිං.... කිසිම අතුරු ආපදාවක් තැති කසාය කෝප්පෙ වත්තට විසි කොරල පැනඩෝල් පෙත්ත ඕන ලෙඩකට කටේ ඔබාගන්නේ එහෙමනේ... කාටද සහතික වෙන්ට පුළුහං ඕවා සීයට සීයක් කිසි අවුලක් නැති බෙහෙත් කියල.. කවදාවත් අහල තියෙනවද කසාය කෝප්පයක් බීල ආසාත්මිකතාවක් ඇතිවුණ කෙනෙක් ගැන???.. මාත්‍රාවට වැඩියෙං බීල පරලෝකප්‍රාප්ත උණ කෙනෙක් ගැන????... ඔය ඔක්කොම ලෙඩ සුද්දගෙ පෙති වල විතරයි..

Friday, November 23, 2012

සංවේගයෙන් ලියනු ලැබේ.............


මේක ලියන්න හේතු වුණේ අද දවල් රේඩියෝවෙ ප්‍රවෘත්ති වලට අහපු කතාවක් නිසා.. ඒ ලෙවල් කොල්ලෙකුයි කෙල්ලෙකුයි කොච්චියට පැනල සියදිවි නහගෙන..ආරංචි හැටියට ලව් හුටපටයක් ලු. මම ගම රට ලියන්නෙ නෑ. ඒකට හේතුව පස්සෙ ඔයාලට තේරෙයි.

මුලින්ම කියන්න ඕන මම මේක ලියන්නෙ හරිම සංවේගයකින්.(මැරුණු දෙන්න ගැන නම් නවේ. )

මැරුණ අයට මේව කියල වැඩක් නෑනේ.. මේ කියන්නෙ මැරෙන්න හිතාගෙන ඉන්න අයට.

Monday, November 19, 2012

රිලව් ඇවිල්ලෝ...



අද කියන්න යන්නෙ අපේ පැත්තේ ප්‍රාදේශීය අර්බූධයක් ගැන.. රිලව්.. මුලු ගමම ආක්‍රමණය කරල..  සමහර ඉඩම් වල උන් අධිගෘහිත වෙලා.. රතිඤ්ඤ නෙවෙයි බෝම්බ දැම්මත් යන්නෙ නැති ගානට උන් බය නැතිවෙලා.. කිසිම අවුලක් නැතිව ඇරල තියෙන ගෙවල් වලට පැනල තියෙන කෑම අරගෙන යනව.. ගෑනු අයගෙ ළමයින්ගෙ ඇඟට පනිනව..
අර ඩී.ඩී.ටී. වලට  මැලේරියා මදුරුවෝ පුරුදු වුණා වගේ රිලව් රතිඤ්ඤා වලට අනුවර්තනේ වෙලා...

දිවිය නගන්න ඇට බීජ පැකැට් බෙදල දුන්නට කොහේ වවන්ටද? වැඩිහරියක් ගෙවල් වල වැඩේ අතෑරල දැම්මෙ මේ රිලව් නිසා. අපි වවනව.. උන් කනව..

මේ ප්‍රශනෙ අපේ ගමට විතරක් නෙවේ මයෙ හිතේ.. රන්දෙණිගල වගේ ගම් වලටත්, නුවර ටවුමේ පවා ලක්ෂ ගාණක් රිලව්... ඔය පේපර් මාකිං යන ටීචර්ලගෙ කෑම පැකට් හෙමත් මුන් උදුරගෙන යනවලු..
මෙතන තියෙන අවුල තමයි රිලව් මීට අවුරුදු හතර පහකට කළින් මෙහෙම හිටියෙ නැති එකයි.. එහෙනං කොහෙන්ද මෙච්චර රිලව් තොගයක්? මොකෝ මේ අවුරුදු හතර පහේ දී එක වතාවකට රිලවියක් පැටව් විසිපහ තිහ වදන්ටැයි?.. 

Thursday, November 15, 2012

බිල්ලගෙ පරමාදර්සේ


            බ්ග් එහෙකුත් පටංගත්ත එකේ වැදගත් මොන මොනවහරි කොටන්නං කියල තමයි ඉඳගත්තෙ. මොනා කොරන්ටද...... කම්මැලිකම ඔළුවට ගහල නොවැ. උදේ ඉඳං චොර චොරේ..  වැස්ස නවතින පාටකුත් නෑ... මං අහගෙන අනිත් පැති වලට හෝදගෙන යන්ට වහිනවලු. කොළබිස්සට නං තාම වැස්ස මදි වගේ. තාමත් වික්ටෝරියාවවත් සම්පූර්ණයෙංම පිරිල නෑ මයෙ හිතේ.
             ඇයි අප්පේ අවුරුද්දකට කිට්ටු කාලයක් වේලෙන්ටම පෑව්වා නොවෑ..... අ‍නික්වා තියා කොස් ගස් පොල් ගස් පවා මැරුණා..සමහර  ඉඩම් වල පොල් ගස් විස්ස තිහි.... අපේ ඉඩමේ විතරයි එක ගහක්වත් මැරුණේ නැත්තේ...

Wednesday, November 14, 2012

ආයිබෝවේවා......... කියවන හැමෝටම...!!! ඔන්න අපිත් බ්ලොග් ලෝකෙට පිවිසියා..

     
 ඔන්න අපිත් සයිබරේට ආගමනය උණා හරිය. එහෙම කියුවට ඉතිං නෙට් එකට ආවෙ නං අද ඊයෙ නෙවෙයි.
     අවුරුදු දෙහෙකට විතර කළිං තමයි ඩොංගල් එක ගත්තෙ. ඒ දවස් වල බ්ලොග් කියෙව්ව මිසක් ලියන්න හිතුවෙ නෑ. ඔන්න ෆන් එහෙකටත් එක්ක ලියන්න හිතුව. මේක දිගටම ලියන්න හිතාගෙන තමයි පටංගත්තෙ.
      මං ලියන්න හිතාගෙන ඉන්නෙ ඔය එදාට එදාට  මට අහන්න දකින්න ලැබෙන දේවල් ලියන්න තමයි. ඒව අනිත් අයට වැදගත් නොවෙන්නත් පුළුවන්. ඒත් ඩයරියක් වත් නොලියන මට මේ බ්ලොග් එක නම් වැදගත් වෙයි.
      ආරාධනා කරනවා හැම දෙනාටම කියවල බලන්න. ඊට පස්සෙ යටින් හිතෙන දෙයක් කමෙන්ට් කරල යන්න.