Pages

Showing posts with label ක්ලාස් රහස්. Show all posts
Showing posts with label ක්ලාස් රහස්. Show all posts

Friday, December 28, 2012

පවුකාර කුකුල් කකුල

           අපේ සයන්ස් වන් පන්තිය ඕනම කූට වැඩකට ඉතා ආරක්ෂාකාරී එකක් වේ. ප්‍රධාන ශාලාව අප පංතිය ආසන්නයේම පිහිටියත් පංතියේ දොර වැසූ පසු පංතිය ඇතුළේ කිසිදු ශබ්ධයක් පිටතට නොඇසේ.. ඉතින් මෙවැනි තැනකින් වැඩක් ගන්නේ අපි හැර වෙන කවුද?

      උදාහරණයක් ලෙස සමහර දිනවල ක්‍රිකට් සෙල්ලම් කළේද පන්තිය තුළය(මේ බොහෝ විට නිවාඩු දෙන දවසයි)..

     අද කතාව අපේ කෑම විනාඩි විස්ස ගැනයි.. අපේ කාල සටහනේ කාලය වෙන් කර තිබුණේ එක විෂයකට පීරියඩ් දෙක බැගිනි.. ඒ අනූව දවසකට විශයන් හතරකි.. සමහර දිනවල මුල් පීරියඩ් දෙක එක් විෂයකුත් ඉන් පසු ඊළඟ පීරියඩ් දෙක එම විශයේම ප්‍රැක්ටිකල් පීරියඩ් දෙකකුත් තිබුණි.. එවැනි දවසක අදාල විශයේ ගුරුතුමිය හෝ ගුරුතුමා නොපැමිණියොත්............................................................

      එවැනි දවසක මුලින්ම කරන්නේ ක්ලාස් එකෙන් දීතිබුණු ටියුට් එකේ වැඩ කිඩ කොටස අහවර කිරීමයි.. ඒ සඳහා පීරඩ් එකක් හෝ දෙකක් යොදාගනී.. ඉතිරි පීරඩ් දෙකේ පංතියේ මගුල් නටමු..

      මේ වැඩ වල දී අවුලක් නොවන්නේ හෙඩ් ප්‍රිෆෙක්ට් හිටියේ අපේ පංතියේ නිසාය...

     අපිට ඉන්ටවල් දෙන්නේ දහයහමාරටයි.. එහෙත් උදේ නවය වන විට ආමාශයේ පණුවන් බ්‍රේක් ඩාන්ස් දැමීමට පටන්ගනී.. ‍ ඒ වෙලාවට මැඩම් හරි සර් හරි නොහිටියා නම්...........................................

      මේ එවැනි දවසකි.. පංතියේ මැඩම් ද නැත..
               "ඕන මගුලක් වෙන්න කියා කමු බං"
                     ඒ හෙඩාය...
 මේ වගේම  කුකුල් කකුලක් හැබැයි පවුකාරයි...... පිංතූරය මෙතනින්

    සාමාන්‍යයෙන් අපේ කෑම ගැනීමේ රටාව ඔක්කොම එකටය.. පංතියේ තිස් හයකි.. කණ්ඩායම් දෙකකට ආහාර ගනු ලැබේ.. ඩෙස් දෙකක් දාගත් අපි වෙන මගුලක් වෙන්න කියා කන්න පටන්ගතිමු.. සාමාන්‍යයෙන් පංතියේ වැඩිදෙනෙක් දතකාරයින් උණත් බහුතරයකගේ ප්‍රියතම ආහාර වේල පරිප්පු, බත් ,අල වැනි දේය.. ඒවා නැති දාට කන්න හිතෙන්නේද නැත.. විස්සක් එක්ක කන එකද ලේසි නැත.. වතුර බිබී හුස්ම අල්ල අල්ල කන්න ගියොත් සම්මජ්ජාතියට බත් කටක් වත් කන්න වෙන්නෙ නැත.. අත් හෝදන්න ගියොත් එනකොට මගේ කෑම එකත් ඉවරය... සෞඛ්‍ය බලබල කන්න නම් වෙන ක්‍රමයක් හොයා ගත යුතුය..

     මෙසේ පංතියම වන කරගෙන කන විට සාමාන්‍යයෙන් තමන්ගේ බත් එකේ මොනවද තියෙන්නේ කියා නොකියා සිටීම කාගෙත් සිරිත වන්නේ එය තමන්ගේ වාසියට ගැනීම සඳහාය.. උදාහරණයක් ලෙස මගේ බත් එකේ මාළු කෑල්ලක් තියෙනවනම් මං කරන්නේ ඒක මගේ පැත්තට හැරෙන විදියට කෑම එක දිගෑරීමය..

     මෙසේ පරිප්පුයි බතුයි කන අතරේ සමහර කෙනෙක් බිත්තරයක් මස් කෑල්ලක් මාළු කැල්ලක් බත්එකට දාගෙන එයි.. ඒවගේ මස් කෑල්ලක් මෙදිනද බත් එකක තිබුණි..

     ක්ෂණිකව ඒපැත්ත බලා මේ පැත්ත බලන විට බත් එක අතුරුදහන්ය.. ඒකෙ තිබුණු මස් කෑල්ලද අතුරුදහන්ය.. බත් එක පංතිය පුරාය.. පංතිය අතුගාන්න බලන විට බත් එකේ තිබිය යුතු මස් කෑල්ල කළු ලෑල්ල ගාවය...

    මේ වගේ තවත් දවසක ඉන්ටවල් එකට කළින් කා ප්‍රින්සිපල්ට මාට්ටු විය..
         "බලනව තමුසෙලා නිකං සත්තු වගේ... පංතිය සුද්ද කරල දානව.."
                     එකසිය ගාණට ගුටි බලාපොරොත්තුවෙන් සිටි අපට ලැබුණේ නොසිතූ පිළිතුරකි..ඒත් පංතිබාර මැඩම්ට ප්‍රින්සිපල් එකසිය ගාණට දෙහි කපා තිබුණි..

     ක්ලාස් එකේ කන කෑම මීට වඩා වෙනස් වන්නේ කණ්ඩායමේ සමාජිකයන් ගාන අඩුවන නිසාවෙනි.. දිග ඩෙස්වල දහයකට පහළොවකට කන්න නොහැකි නිසා පහක් හයක් බැගින් කණ්ඩායම් හැදේ... ඒත් අනිත් කණ්ඩායමක වත් කුකුල් කකුලක් තිබුණොත් සහ අපේ කවුරුහරි ඒක දැක්කොත්......
                        පවු.......අහිංසක කුකුලා....... මැරෙනකොටවත් එච්චර දුක් විඳින්න නැතුව ඇති............

    කෑම ගැන කියනකොට ම‍ගේ යාළුවා අමතක කරන්න බැරිය.. ඌට ගෙදරින් ලැබෙන්නේ රුපියල් සීයකි.. ඒ හරියටම නුවර ගොස් ආපසු ඒමටය.. ඒත් ඒ රුපියල් සීයෙන් රුපියල් හතළිස් පහක බස් එකේ ගිහින් තව සීයක කාල හතළිස් පහකින් ගෙදරත් එයි....ඊට පස්සෙ මටත් කන්න අරන් දෙයි...
-----------------------------------------------------------------------------------------------
පංතිභාර මැඩම් සහ ප්‍රින්සිපල් සර් ගැන වචනයක් නොකියන්නේ නම් ඒක ලොකු අඩුවකි.
පංතිභාර මැඩම් වයසින් පණහට වැඩි වුවත් අපේ කොල්ලොත් එක්ක හි‍ටියේ යාළුවෙක් වගේ.. ඒත් තමන් ගුරුවරියක් බව ඈ අමතක කලේ නෑ.. අපේ අදහස් වලට ඇහුම්කන් දුන්නා.. ඒ නිසා එතුමියට  කවුරුත් ගරු කළා..
  
විදුහල් පති තුමා මං දැකපු විශිෂ්ඨ පාලකයෙක්.. ඉස්කෝලෙ ළමයි විතරක් නෙමෙයි ගුරුවරුන්වත් නියමෙටම පාලනය කරගෙන හිටිය.. ඒක ඉස්කෝලෙ බැබලෙන්නට ප්‍රධාන හේතුවක් විදියට දකින්න පුළුවන්..

   


    

Thursday, December 20, 2012

ක්ලාස් එකක ඉඳගන්න තැන තෝරා ගැනීමේ රහස්



 ක්ලාස් එකකට ගියාට ඉඳගන්න තැන තෝර ගන්න එක ආවට ගියාට කරන්න බෑ.. ඒකට සුදුසු තැන තොරගන්න ඕන.. මේ යාන්ත්‍රිකයගෙ තැන් තෝරගත්ත හැටි..ලියා තියන්නෙ අනාගත පරපුරේ ප්‍රයෝජනය උදෙසා..:)

ක්ලාස් එකක ඉඳ ගැනීමේ යාන්ත්‍රිකයගේ ප්‍රතිපත්ති මාලාව

01).ගණං ක්ලාස් එකට අදාලව:-
 මැත්ස් ක්ලාස් එකේ දළ සැලැස්ම.. 
නිස් පාටින් තියෙන්නෙ යාන්ත්‍රිකයගෙ බංකුව

ඔය නිල් පාටින් පෙනෙන්නේ යාන්ත්‍රිකයා හැමදාම ගණන් ක්ලාස් එකේ ස්ථානගත වෙන පොට් එක.. එතන තෝරගන්න හේතු ගොඩයි..

පළවෙනි එක ඔතන ඉස්සරහින් ඉන්නෙ සුපිරි මීටරයක්.. ඒක මගේ ආරක්ෂායට හොඳයි.. අනික එතෙන්ට සර්ව පෙනුනත් සර්ට මාව පෙනෙන්නෙ නෑ.. සර් කතා කරන දේවල් ඇහෙන බෆල් එක තිබුණේ මට උඩින් බිත්තියේ.. ඒ නිසා සර්ගෙ මිහිරි කටහඬ කණ බිහිරි කරවන සුළු වුණේත් නෑ.. සර් කියන දේවල් හොඳට ඇහෙනවා.. ඔතන බිත්තිය තියෙන නිසා පොඩි ‍හේත්තුවක් දාගන්නත් පුළුවන්...

රතුපාටින් තියෙන්නෙ අවදානම් කළාපය නොහොත් ගෑනු ළමයින් ගෙ පෙදෙස.. ඉතිං ඔය මැද තියෙන ලයින් එකේ ඉඳගත්තනම් සම්මජ්ජාතියට මෙලෝ දෙයක් ඉගෙන ගන්න වෙන්නැ.. ඩබල් ලයින් වලින් තියෙන්නේ සර්ගෙ ගමන් මාර්ගය.. ඒ අහල පහල ඉන්න එකත් තරමක් විතර අවදානම්.. ඉතිං මං හිටපු තැන ආරක්ෂිතයි වගේම ඉගන ගන්නත් ඉතා සුදුසුයි..:)

පිටිපස්සහ සුදුසුයි ෆන් එකේ ඉන්න.. මොකද ඒ හරියෙ ඉන්නෙ රේඩියෝ අහන සෙට් එක..:))

02). ෆිසික්ස් ක්ලාස් එකට අදාලව:-
                                                    ෆිසික්ස් ක්ලා‍ස් එකේ දළ සැලැස්ම

ඔය ෆිසික්ස් ක්ලාස් එක දවල්ට තැම්බෙනව නෙමෙයි ගිනියම් වෙනව.. ඒ නිසා පරසර තත්ව වලට පොදුවේ ඔරොත්තු දෙන තැනක් හොයා ගන්න එක ඉතා වැදගත්.. ඉතින් ඒ ක්ලාස් එකේ මං හිටපු තැන නිතරම සිහිල් සුළං වදින සෞම්‍ය පරසරයක් ඇති ස්ථානයක් කියුවොත් ඉතා නිවැරදියි.. ඒක තෝරා ගැනීමේදීත් රතු පාට කොටස නොහොත් ගැහැනුළමුන්ගෙන් තර්ජන පවතින ස්ථාන මගහරින්න වෙනවා..

ඊළඟට අපි හිටියෙ බැල්කනියක.. ඒ නිසා සර්ව පැහැදිලිව පෙනෙනවා.. මං හිටපු තැනට ආසන්නව බෆල් හයි කරල තියෙන නිසා හඬත් හොඳට ඇහෙනවා.. ඒත් බැල්කනියෙ ඉස්සරහම ඉන්න බෑ එතකොට සර්ට නෝට්.. කෝකටත් සුපිරි මීටර දෙකක් මගෙ ළඟම තියාගත්තා මගේ ආරක්ෂාව තවත් තහවුරු වෙන්න..

03). කෙමිස්ට්‍රි ක්ලාස් එකට අදාලව:-
                                                 කෙමිස්ට්‍රි ක්ලාස් එකේ දළ සැලැස්ම

කළු තීරය සර්ගෙ ඉගැන්වීම් කලාපය.. යාන්ත්‍රිකයට ටිකක් (ඒ කියුවෙ හොඳටම) කෙමිස්ට්‍රි බැරි නිසාත් ක්ලාස් එකේ ළමයි අඩු නිසාත්, සර්ගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ඇති නිසාත්, ඒක ලැජ්ජාවට කාරණාවක් නොවන නිසාත් පරිසර තත්ව අමතක කරලා ඔය නිල් පාටින් පෙන්නන තැන තිබිච්ච බංකුවේ යාළුවොත් එක්ක ඉඳගත්ත...
ඉස්සරහම පේළිය දුන්න කොල්ලො දෙන්නෙක්ට.. ඒකට හේතු දෙකයි..
එක,
උන් දෙන්නම මීටර්
දෙක,
ඊට ඉස්සරහ පේළියේ හිටියෙ උන්ගෙ කෙල්ලො දෙන්න..
ඉතිං යාළුවට අවස්ථාව දෙන්න ඕන නිසා අපි දෙවෙනි පේළිය තෝරගත්ත..


දැං පේනවනේ.. ක්ලාස් එකක් තිබුණු පළියට, ඒකට ගිය පළියට ඊට සල්ලි ගෙවපු පළියට ඒකෙ ඉඳගන්න බෑ කියල.. තමන්ට සුදුසුම සහ අවශ්‍යතාවට ගැලපෙන තැන තෝරගන්න ඕන.. අවශ්‍යතාවයට ගැලපෙන තැන් ක්ලාස්වල තියෙනවා..

කාට හරි මේ ගැන උපදෙස් ඒම ඕනනම් නොඅඩුව ලබා දෙන්න යාන්ත්‍රිකයා සූදානම්..