Pages

Showing posts with label ස්වතන්ත්‍ර නිමැවුම්. Show all posts
Showing posts with label ස්වතන්ත්‍ර නිමැවුම්. Show all posts

Tuesday, January 22, 2013

ඒ ලෙවල් කරපු උන්ට....** යාන්ත්‍ර මන්ත්‍ර රාජයා**

     ඕං ග්‍රීං ශ්‍රීං.............. ඒස්වා හඃ.....

     නමො නමෝ වයිමා දිව්‍ය රාජායා  ඕං නමෝ ඒස්වා හඃ.....

     පස්වාන් දහසකට ආයි බෝවා... ආයි බෝවා.....ආයි බෝවා.... මේ අත් භවේක කරන ලද්දා වූ ඕනැම කුසල කරුමයක් පළ දේවා.. සියළු පින් අත් වේවා... මෙවන් දුකක් වනේ වන සතෙකුට අත් නොවේවා..

     අවසර ආයිබෝවන්ඩ දේවතාවුන් වහන්ස... මේ ගැත්තා කරන ලද්දාවූ අකුසල කරුමයක් පටිසන් දෙවන්ට පටන්ගෙන ඒවා... නවත්වා වදාරන්ඩ හොඳයි.. මේ අවුරුද්දට විතරක් ජනවාරි තිහක් ලබා නොදෙන්ඩ හොඳයි කරුණා කරන්ඩ දේවතාවුන් වහන්ස...

පිංතූරය ඉස්සුවේ මෙතනින් දේවතාවුන් වහන්ස...




     මේ ගැත්තා කරන ලද්දාවූ අකුසලය නිසා මේ අත් භවයම විඳවන්ට නියමිතයි දේවතාවුන් වහන්ස.. එයින් මේ ගැත්තා ගලවා දෙවන්ඩ හොඳයි.. තවද මාතෘ දිව්‍ය පුත්‍රයාගෙන් මේ තිහෙන් පසු ලබන්නට නියමිත අතුරු අන්ත්‍රා වලින් මුදවා දෙවන්න හොඳයි දේවතාව්න් වහන්ස..

    දෑවුරුද්දක්ම පිච්චියටම කෙලවගෙන එකම ඩෙනිම ඇඳගෙන කන ලද්දාවූ කට්ට නැවත නොකන්නට වැඩ සලසා දෙනු මැනවි දේවතාවුනි... එකල්ලත් හදිසියේ හරි මොකක් හරි විස්සොවිද්දියාලෙකට වැටිල ගුටි කන්න හේතු නොවන්නයි දේවතාවුන් වහන්ස... තවද දේවතාවුනි හෙට අනිද්දා වැළ‍ඳෙන්නට නියමිත උණ සෙම්පරතිශ්‍යාව අන්තිම දරුණු තත්වයකට පත් කරදී ඒ අයුරින් හෝ ගෙදරින් ඇතිවන්නට නියමිත අතුරු ආන්ත්‍රා වලින් ආරක්ෂා කර දෙන්නයි දේවතාවුන් වහන්ස......

     තව වතාවක් කට්ට කන්න උණොත් තව එක ඩෙනිම් කෑල්ලක් ලබා දෙන්න කරුණා කරන්න දේවතාවුන් වහන්ස.. තවද නිවාඩු පාඩුවේ ගෙදර ඉන්ඩත් එක දොහක් වත් ලබා දෙන්නයි දේවතාවුන් වහන්ස....................

    නම්බුකාර විදියට සෙකන්ඩ් ෂයි එකක් කොරන්ට කෙමට අඩුම තරමේ සී එකක් වත් ලබා දෙන්න දෙවි හාමුදුරුවන් වහන්ස.... පාරක බැහැල යන්න පුළුවන් තත්වයක් තිහෙන් පස්සෙ උදා කරල දෙන්නයි දේවතාවුන් වහන්ස....

    ඊට පස්සෙත් එන රිසාල්ටුව හරියට ලබා දෙන්ට ඔබ වහන්සේව අදහන අධ්‍යාපන උන්නාන්සේලාගේ ඇස් අරවන්නයි දේවතාවුන් වහන්ස...  අපි පවුය දේවතාවුන් වහන්ස......

    මේ බලු ගැත්තා මොකක්දෝ කරපු පවකට දෙ‍දාස් දොළහේම ඒ ලෙවල් කොරන්ට හිටියා වෙච්චි දේ වුණා කියලා මතු  මොන ආත්මෙක වත් ඒ ලෙවල් නැති රටක උපදින්ට වරම් දෙන්නයි දේවතාවුන් වහන්ස.....

    සාධු........... සාධු............ සාධූ...................................!!!!
   

Thursday, January 3, 2013

යාන්ත්‍රික ඉඟි වැකි




            යාන්ත්‍රික භාෂාව ටිකක් විතර වෙනස්.. නිතර අහන්න දකින්න නොලැබෙන වචන වගේම වැකි ඒ භාෂාවෙ ඇතුළත්.. මේ ඒවගේ ටිකක්.. ඔයාලගේ ඩික් එකටත් එකතු කරගන්න හොඳනම් විතරක්..

01.කට්ට කන්නාට මදය කෑමට ලැබේ..
හා නැද්ද මං අහන්නේ.. මදය කන්නනං කට්ට කන්නම වෙනවනේ.. මේක මට කියවෙන්නෙ ක්ලාස් සිහිවුණහම..

02.යකාගෙ ආණ්ඩුවේ පුතාගෙ ඇමතිකම වගේ..
            ඇමතිගෙ පුතා ඒම නං මෙයා කොහොම වෙයිද?
පිංතූරය මෙතනින්
03.බටයගෙ කෙල්ල වගේ..
            තේරුන්නෑනේ?.... ඒ කියන්නෙ හරියටම නිශ්චිත නෑ කියන එක... මොකද ‍මේ බටයට අවුරුදු පහකදී කෙල්ලො තිස් දෙකක් හිටිය.. දැං එකත් එක්ක තිස් තුනයි.. හැබැයි ඌ මීටරේ..

04.ප්‍රොපෙසර්ට වැරදුණු ප්‍රශ්න පත්තරේ වගෙ...
            ඇයි පහුගිය ෆිසික්ස් ප්‍රශ්න පත්තරයක්  ෆිසික්ස් රට වටේ කරකවල ටොං පචයක් දාල හදල තිබ්බේ... ඒක වැරදියි කියුවම ඒකටත් උත්තරයක් දුන්නනේ..ගණං පේපර් එකකටත් එහෙම කළා නේ.. ඉතිං  ඕන පැත්තකට හරවල දෙන්න පුළුවන් උත්තර තියෙන ඒවට මෙහෙම කියනව.. එදා ඉඳන් මේක යාන්ත්‍රිකයගෙ ඉඟි වැකියක්..

05.ඩේවිඩ් ප්‍රතිමාව සීගිරියට ගෙනාව වගේ..
            කොහොම තියෙයිද?.... ඩේවිඩ් ප්‍රතිමාවේ සුළු සුළු වෙනස්කම් එහෙමත් වෙයි නේහ්?....

06.මගේ කොම්පියුටරේ වගේ..
            නැති දේකුත් නෑ... ඇති දේකුත් නෑ...
පිංතූරම මෙතනින්
07.රම්බණ්ඩගෙ ලොකු පුතාගෙ පුතා අපෙ අප්පච්චිට මාමා කියුව වගේ..
            අන්ධ භූත මෝඩ කතාවක් දැක්වීම සඳහා යෙදේ.. 
            ඇත්තටම කියනවනම් රම්බණ්ඩගෙ ලොකු පුතාගෙ පුතා තමයි යාන්ත්‍රිකයා...:) 

        මේවා එකදිගට කල්පනා කරකර කියන ඒව නෙමෙයි... ක්ෂණිකව මොකක්  හරි වචනයකට මැදින් දාන්න යනකොට එළියට එන ඒව... අද තමයි මුල් වරට පෙළගස්වන ලද්දේ.... තව ඇති.. එකදිගට මතක්වෙන්නෙ නෑ..:(

------------------------------------------------------------------------------------------------------------

ඇත්තටම බර වැඩි යකඩ කිලෝවද? පුළුන් කිලෝවද?....... හරියටම දැනගන්න ෆිසික්ස් ලන්තෙ කියවන්න..

Friday, December 28, 2012

පවුකාර කුකුල් කකුල

           අපේ සයන්ස් වන් පන්තිය ඕනම කූට වැඩකට ඉතා ආරක්ෂාකාරී එකක් වේ. ප්‍රධාන ශාලාව අප පංතිය ආසන්නයේම පිහිටියත් පංතියේ දොර වැසූ පසු පංතිය ඇතුළේ කිසිදු ශබ්ධයක් පිටතට නොඇසේ.. ඉතින් මෙවැනි තැනකින් වැඩක් ගන්නේ අපි හැර වෙන කවුද?

      උදාහරණයක් ලෙස සමහර දිනවල ක්‍රිකට් සෙල්ලම් කළේද පන්තිය තුළය(මේ බොහෝ විට නිවාඩු දෙන දවසයි)..

     අද කතාව අපේ කෑම විනාඩි විස්ස ගැනයි.. අපේ කාල සටහනේ කාලය වෙන් කර තිබුණේ එක විෂයකට පීරියඩ් දෙක බැගිනි.. ඒ අනූව දවසකට විශයන් හතරකි.. සමහර දිනවල මුල් පීරියඩ් දෙක එක් විෂයකුත් ඉන් පසු ඊළඟ පීරියඩ් දෙක එම විශයේම ප්‍රැක්ටිකල් පීරියඩ් දෙකකුත් තිබුණි.. එවැනි දවසක අදාල විශයේ ගුරුතුමිය හෝ ගුරුතුමා නොපැමිණියොත්............................................................

      එවැනි දවසක මුලින්ම කරන්නේ ක්ලාස් එකෙන් දීතිබුණු ටියුට් එකේ වැඩ කිඩ කොටස අහවර කිරීමයි.. ඒ සඳහා පීරඩ් එකක් හෝ දෙකක් යොදාගනී.. ඉතිරි පීරඩ් දෙකේ පංතියේ මගුල් නටමු..

      මේ වැඩ වල දී අවුලක් නොවන්නේ හෙඩ් ප්‍රිෆෙක්ට් හිටියේ අපේ පංතියේ නිසාය...

     අපිට ඉන්ටවල් දෙන්නේ දහයහමාරටයි.. එහෙත් උදේ නවය වන විට ආමාශයේ පණුවන් බ්‍රේක් ඩාන්ස් දැමීමට පටන්ගනී.. ‍ ඒ වෙලාවට මැඩම් හරි සර් හරි නොහිටියා නම්...........................................

      මේ එවැනි දවසකි.. පංතියේ මැඩම් ද නැත..
               "ඕන මගුලක් වෙන්න කියා කමු බං"
                     ඒ හෙඩාය...
 මේ වගේම  කුකුල් කකුලක් හැබැයි පවුකාරයි...... පිංතූරය මෙතනින්

    සාමාන්‍යයෙන් අපේ කෑම ගැනීමේ රටාව ඔක්කොම එකටය.. පංතියේ තිස් හයකි.. කණ්ඩායම් දෙකකට ආහාර ගනු ලැබේ.. ඩෙස් දෙකක් දාගත් අපි වෙන මගුලක් වෙන්න කියා කන්න පටන්ගතිමු.. සාමාන්‍යයෙන් පංතියේ වැඩිදෙනෙක් දතකාරයින් උණත් බහුතරයකගේ ප්‍රියතම ආහාර වේල පරිප්පු, බත් ,අල වැනි දේය.. ඒවා නැති දාට කන්න හිතෙන්නේද නැත.. විස්සක් එක්ක කන එකද ලේසි නැත.. වතුර බිබී හුස්ම අල්ල අල්ල කන්න ගියොත් සම්මජ්ජාතියට බත් කටක් වත් කන්න වෙන්නෙ නැත.. අත් හෝදන්න ගියොත් එනකොට මගේ කෑම එකත් ඉවරය... සෞඛ්‍ය බලබල කන්න නම් වෙන ක්‍රමයක් හොයා ගත යුතුය..

     මෙසේ පංතියම වන කරගෙන කන විට සාමාන්‍යයෙන් තමන්ගේ බත් එකේ මොනවද තියෙන්නේ කියා නොකියා සිටීම කාගෙත් සිරිත වන්නේ එය තමන්ගේ වාසියට ගැනීම සඳහාය.. උදාහරණයක් ලෙස මගේ බත් එකේ මාළු කෑල්ලක් තියෙනවනම් මං කරන්නේ ඒක මගේ පැත්තට හැරෙන විදියට කෑම එක දිගෑරීමය..

     මෙසේ පරිප්පුයි බතුයි කන අතරේ සමහර කෙනෙක් බිත්තරයක් මස් කෑල්ලක් මාළු කැල්ලක් බත්එකට දාගෙන එයි.. ඒවගේ මස් කෑල්ලක් මෙදිනද බත් එකක තිබුණි..

     ක්ෂණිකව ඒපැත්ත බලා මේ පැත්ත බලන විට බත් එක අතුරුදහන්ය.. ඒකෙ තිබුණු මස් කෑල්ලද අතුරුදහන්ය.. බත් එක පංතිය පුරාය.. පංතිය අතුගාන්න බලන විට බත් එකේ තිබිය යුතු මස් කෑල්ල කළු ලෑල්ල ගාවය...

    මේ වගේ තවත් දවසක ඉන්ටවල් එකට කළින් කා ප්‍රින්සිපල්ට මාට්ටු විය..
         "බලනව තමුසෙලා නිකං සත්තු වගේ... පංතිය සුද්ද කරල දානව.."
                     එකසිය ගාණට ගුටි බලාපොරොත්තුවෙන් සිටි අපට ලැබුණේ නොසිතූ පිළිතුරකි..ඒත් පංතිබාර මැඩම්ට ප්‍රින්සිපල් එකසිය ගාණට දෙහි කපා තිබුණි..

     ක්ලාස් එකේ කන කෑම මීට වඩා වෙනස් වන්නේ කණ්ඩායමේ සමාජිකයන් ගාන අඩුවන නිසාවෙනි.. දිග ඩෙස්වල දහයකට පහළොවකට කන්න නොහැකි නිසා පහක් හයක් බැගින් කණ්ඩායම් හැදේ... ඒත් අනිත් කණ්ඩායමක වත් කුකුල් කකුලක් තිබුණොත් සහ අපේ කවුරුහරි ඒක දැක්කොත්......
                        පවු.......අහිංසක කුකුලා....... මැරෙනකොටවත් එච්චර දුක් විඳින්න නැතුව ඇති............

    කෑම ගැන කියනකොට ම‍ගේ යාළුවා අමතක කරන්න බැරිය.. ඌට ගෙදරින් ලැබෙන්නේ රුපියල් සීයකි.. ඒ හරියටම නුවර ගොස් ආපසු ඒමටය.. ඒත් ඒ රුපියල් සීයෙන් රුපියල් හතළිස් පහක බස් එකේ ගිහින් තව සීයක කාල හතළිස් පහකින් ගෙදරත් එයි....ඊට පස්සෙ මටත් කන්න අරන් දෙයි...
-----------------------------------------------------------------------------------------------
පංතිභාර මැඩම් සහ ප්‍රින්සිපල් සර් ගැන වචනයක් නොකියන්නේ නම් ඒක ලොකු අඩුවකි.
පංතිභාර මැඩම් වයසින් පණහට වැඩි වුවත් අපේ කොල්ලොත් එක්ක හි‍ටියේ යාළුවෙක් වගේ.. ඒත් තමන් ගුරුවරියක් බව ඈ අමතක කලේ නෑ.. අපේ අදහස් වලට ඇහුම්කන් දුන්නා.. ඒ නිසා එතුමියට  කවුරුත් ගරු කළා..
  
විදුහල් පති තුමා මං දැකපු විශිෂ්ඨ පාලකයෙක්.. ඉස්කෝලෙ ළමයි විතරක් නෙමෙයි ගුරුවරුන්වත් නියමෙටම පාලනය කරගෙන හිටිය.. ඒක ඉස්කෝලෙ බැබලෙන්නට ප්‍රධාන හේතුවක් විදියට දකින්න පුළුවන්..

   


    

Sunday, December 23, 2012

යාන්ත්‍රික දේවතාවා බැලූ දසමහ බැලුම්



            යාන්ත්‍රික දේවතාවා නිම්මාණරතියේ සිට දිවැසින් මනුලොව දෙස බලා සිටින්නේ, තවත් සියදාස් ගානක් දෙවි දේවතාවුන් පැමිණ,
            “අවසර යාන්ත්‍රික දේවතාවුණි, මේ ඔබ වහන්සේ මිනිස් ලොව ඉපදෙන්නට කාලයයි” ලෙස මිනිස් ලෝකයේ ඉපැදෙන්නට ආරාධනා කළහ..
යාන්ත්‍රික දේවතාවා ඒකාලේ හෙන දරුණු ඩයල් එකක් ලූ
පිංතූරය මෙතනින්

            යාන්ත්‍රික දේවතාවා කල් යල් බලා මිනිස් ලොව ඉපැදෙමියි සිතා “එසේමැයි” කියා දේවතාවුන්ගේ ආරාධනය ඉවසා වදාළේය...

            ඉතින් යාන්ත්‍රික දේවතාවා ඊට ගැලපෙන පරිසර තත්ව පිරික්සන්නට පටන්ගත්හ..

01.කාලය:-
            යාන්ත්‍රිකයා දෙදා‍ස් පණහේ අදහස් තියෙන අනූව දශකයට අයත් එකෙකි.. යාන්ත්‍රිකයා ප්‍රිය කරන සිංදු පවා ඊට ගැලපෙන සේ වන්නේය.. ඒ නිසා ඌ දෙදාස් පණහට වැඩිය ජීවත් විය යුතුය.. තවද දෙදාහට කළින් ඉපදිය යුතුය.. මේ නිසා එකදාස් නමසිය අනූතුන යාන්ත්‍රික දේවතාවා විසින් සිලෙක්ට් කරන ලදි..

02.දීපය:-
            වමට බර ඩයල් එකක් නිසා ආසියාව සුදුසු යැයි තීරණය කලේය..
03.දේශය:-
අනාගතයේදී යාන්ත්‍රිකයා සිංහලෙන් බ්ලොගක් කොටන්නට පටන්ගන්නේය.. තවද පල් හෑලි ලියා අනුන්ගේ කාලයද කා දමන්නේය.. මේ නිසා සිංහල රටක ඉපැදිය යුතුය.. ඉතිං එහෙවු රටවල් ඇත්තේ එකක් නිසා ඉපැදෙන්නට ලංකාව තෝරා ගත්තේය..

04.කුලය:-
            යාන්ත්‍රික දේවතාවා මෙය සිලෙක්ට් කරන ලද්දේ මංගල යෝජනා තීරය කියවීමෙන් පසුවය... :)

05.මව:-
            සුදුස්සාට සුදුසු තැන දෙන යාන්ත්‍රික දේවතාවා, යාන්ත්‍රකයාගේ මව වීමට පෙර පින් ඇත්තියන්ගේ නම් ලිස්ට් එක පිරික්සන්නේ, යාන්ත්‍රිකයාගේ මව වීමට වැඩිම සුදුසුකම් ඇති අපේ අම්මාට ඒ චාන්ස් එක දීමට තීරණය කළේය..

06.පියා:-
            කළිං ආත්මෙ දෙයියො උණත් යාන්ත්‍රිකයාත් අවලං වීමට ඉඩ තිබෙන්නේය.. එසේ නොවී උගෙ අනාගතය හදන්නට ඉතා සුදුසු පිය වරයෙක් උවමණාය.. ඊට ගැලපෙන පෙර පින් ඇති පියෙක් යාන්ත්‍රික දේවතාවා තෝරා ගත්තේය..

07.සහොදර සහොදරියෝ:-
            සහෝදරයන් නම් අරහන්ය.. උන් එක්ක මරාගන්නවාට වඩා අනාගතයේ යාන්ත්‍රිකයාට වැඩ තිබෙන්නේය.. තව ඉස්කෝලෙ ගිහිං එනකොට හවස් වන්නේය.. ඉතිං ඒ අතරේ තමන්ගේ ඇඳුමක් මැද දීමට වත් සහෝදරියක් සුදුසුය.. අනික ඈ වැඩිමල් වූවොත් ඔක්කේම අබ්ලික්ය.. ඒ නිසා යාන්ත්‍රිකයාට වඩා බාල විය යුතුය.. තවද තනි සොයුරියක් සිටියොත් ඈ ආරක්ෂා කිරීමට අමතරව තවත් දෙයක් යාන්ත්‍රිකයාට නැති වන්නේය.. ඒ නිසා එක වගේ ඉහත ගුණ ඇති සොයුරියන් ඩබලක් ඉතා අගනේය.. මෙසේ සිතූ යාන්ත්‍රික දේවතාවා පෙර පින් ඇත්තියන් අතරින් ඉහළින්ම සිටි දෙදෙනෙක් ස්වකීය කිඹුල් සොහොයුරියන් ලෙස සුදුසුයැයි සටහන් කරගත්තේය...

08.ආගම:-
            යථාර්ථයට මුල් තැන දෙමින් ගැඹුරු සහ පෙර ප්‍රාර්ථනා පරිදි බුදු දහම තෝරා ගත්හ...

09.පාසල:-
            පාසල් කීපයකටම යාමට පිං කැර ඇති නිසා ඊට ඉඩ දීමට යාන්ත්‍රික දේවතාවා තීරණය කළේය..:) තවද යාන්ත්‍රිකයා කළිං ආත්ම වලදී ෆ්‍රී ටියුෂන් කර පිං සිදු කරගෙන තිබූ බැවින් සුපිරි ගුරුවරු සෙට් එකක් ලැබීමට නියමිතය.. ඒ අය පෙර ආත්ම වල යාන්ත්‍රිකයාගේ ගෝල බාලයින් වන්නේය.. මේවන විටත් මෙලොව එළිය දැක තිබූ ඒ අය අය කළ කරුම පටිසන් දීම් වශයෙන් ඔවුන්ට අති දුෂ්කර පාසලක් ඒ වනවිටත් ලැබී තිබුණේය.. අනුන්ගේ පවු ගෙවන්නට යාන්ත්‍රිකයාට සිදුවන්නේ මෙතනදීය.. මොනවා කරන්නටද කියා යාන්ත්‍රික දේවතාවා ඒ පාසල ඔහුගේ දෙවන පාසල ලෙස තෝරා ගන්නේය..
           
ඒත් යාන්ත්‍රික දේවතාවා පෙර කිසිම ආත්මයක පහත දැක්වෙන සබ්ජෙක්ට් ටික කිසිදු ගෝලයෙකුට උගන්වා නොතිබුණේය...
1.      මියුසික් (ඉංගිරිසියෙන් සංගීතය)
2.      කඩ්ඩ
3.      අයි.ටී
ඒ පව පළ දීමක් ලෙස මේ ආත්මයේදී යාන්ත්‍රිකයා කැමති වුවත් ඒවා
ඉගෙන ගන්නට නොලැබෙන්නේය.. ඒත් කළිං ආත්මයක සාධාරණව ලොකු ඉස්කෝලෙකට ළමයි දා දුන් පිණ පසුව පටිසන් දෙන්නේය..
            ‍
            මෙසේ සලකා බැලූ දේවතාවා සුදුසු පාසල් හතරක් අනාගතය සඳහා තෝරා තබන ලද්දේය..

10.ග්‍රාමය:-
            අනාගතය කාබන්ඩයොක්සයිඩ් වලින් පිරී යනු දුටු දේවතාවා හුස්ම ගත හැකි පරිසරයක් සහිත කන්ද උඩරට ඩොටේ ග්‍රාමයක් වාසස්ථානය පිණිස තෝරා ගන්නේය.. නමුත් සෞඛ්‍යය ගැන පමණක් හිතා කළ ගොන්කමේ තරම පසුව යාන්ත්‍රික දේවතාවට වැටහෙන්නේය.. ක්ලාස් යාමේ පව පටිසන්දීමට පටන්ගත් පසු යාන්ත්‍රිකයාට දෙලොවම එපා වන්නේය..

-----------------------------------------------------
මෙසේ සියළු තේරීම් අවසානයේ යාන්ත්‍රිකයා කල් යල් බලා මිනිස් ලොව පිළිසිඳ ගත්තේය.. එයින් දසමසක් ගතවූ තැන චෑවු ගා මෙලොව උපත ලැබුවේය..

-------------------------------------------------------------------------------------
කෝ දැන් කට්ටියම මට ස්තූති කළානං..
මොකා... ඒ ඇයි කියලා අහන්නේ..? ඇයි මතක නැද්ද මේ ලෝකෙ බේරගත්තෙ මමනේ... ආ.. ඇයි නැද්ද කියන්නේ? මගේ ආයුෂ අවුරුදු හැත්තෑ පහක් නොවුණානං බලන්න තිබුණා කට්ටිය අද ජීවත් වෙන හැටි... මගේ විශේෂ ඉල්ලීම පරිදි ආයුෂ පවත්වාගතයුතු නිසා තමයි ලෝක විනාසෙ කල් දාන්න ලෝක පාලක දෙයියො එකඟ වුණේ.....
හරී.... ඉතිං ඒකෙ ගෞරවේ මංම භාරගන්නංකෝ........8-}